හිරු 1000ක් පෑයූ දිනය!...

එක සූර්‍යයෙක් පායලත් දවල්ට තියන රස්නේ කොහොමද? 1000 පෑයූ දවසට කොහොමද?

නමුත් මීට දශක කිහිපයකට කලින් ඇත්තටම පෘථිවියේ නගර 2කට ඒවගේ හිරු දහසක් පෑයුවා. ඒ තමා ජපානයේ නාගසාකි හා හිරෝෂිමා. දැන් දන්නවනේ මං මොකක් ගැනද කියන්න යන්නේ කියලා.

විශාල දේශපාලන-සමාජ හා ආර්ථික ක්‍රියාවල ප්‍රතිපල ලෙස තමා ජපානෙට පරමාණු බෝම්බ වැටුනේ.

මේ කතාවට අයින්ස්ටයින් මහත්තයත් ගෑවෙනවා.

අපි මුලින් න්‍යෂ්ටික භෞතික විද්‍යාව පොඩ්ඩක් අවුස්සමු...

ආව‍ර්තිතා වගුවේ අවසානයේ තියන සමහර මූලද්‍රව්‍ය වලට එකතැන නිකාන් ඉන්න බෑ. එයාලගේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන ලොකු තොගයක් න්‍යෂ්ටියේ තියෙනවා. ඒනිසා න්‍යෂ්ටිය ගොඩාක් "බරයි". ඕනම දෙයක් බර වැඩිනම් ඒක ටිකක් අස්ථාවරයිනේ. ලොකු යකඩ බෝලෙකට පොඩි ජිලකින් ගහලා පෙරලන්න පුලුවන්නේ.

ඉතින් මේ බර වැඩි න්‍යෂ්ටි වලටත් පොඩි නියුට්‍රෝන ප්‍රහාරයක් දීලා ඒවා අස්ථාවර කරන්න පුලුවන්. එහෙම අස්ථාවර උනාම මේ න්‍යෂ්ටි කෑලි වලට කැඩෙනවා. එහෙම කැඩිලා පොඩි න්‍යෂ්ටි කීපයක් හා නියුට්‍රෝන කීපයක් හදනවා. ඒවට අමතරව පොඩි ස්කන්ධය අඩුවීමක් වෙනවා. ඕන් ඔතෙන්ට තමා අර අහින්සක අයින්ස්ටයින් මහත්තයා ගෑවෙන්නේ.

එතුමාගේ E=mC^2 සමීකරණය අනුව අර අඩුවෙන ස්කන්ධය ශක්තිය බවට හැරෙනවා.

අරවා කැඩෙනකොට නියුට්‍රෝන කීපයක් පිටවෙනවනේ.

ඒපිටවෙන ඒවා අනිත් බර න්‍යෂ්ටි වල වැදෙනවනේ.

වැදුනම ඒවත් කැඩෙනවනේ.

ආන් ඒවගේ ප්‍රතික්‍රියාව වැලක් වගේ දිගට යනවා. පාලනයක් සහිතව කරලා විශාල බලශක්තියකුත් පාලනයක් නැතුව ලොකු පිපුරුමකුත් ගන්න පුලුවන්. බලශක්ති පැත්තට දාලා යමු බෝම්බ සයිඩ් එකට.

බොම්බේ හදන්න හොදම යුරේනියම් කියලා විද්‍යාඥයන් හොයාගත්ත. හැබැයි පොඩි අව්ලක් තිබ්බා යුරේනියම් වල. යුරේනියම් වලත් වර්ග/සමස්ථානික කීපයක් තිබ්බා.

එකක් යුරේනියම් 235
අනිත් එක යුරේනියම් 238

යුරේනියම් 235 එයාගේ ලොකු අයියට වඩා බර අඩු උනාට ඒයකා පට්ට අස්ථාවරයි. පොඩ්ඩක් බැරිඋන ගමන් වැල් ප්‍රතික්‍රියා පටන ගන්නවා. 238නං පොඩ්ඩක් ප්‍රතික්‍රියාව වෙලා නවතිනවා. මේ දෙකෙන් බෝම්බ වැඩේට හරියටම හරියන්නේ 235. වැඩේ කියන්නේ යුරේනියම් වල 0.7%ක් විතරයි 235තියෙන්නේ. හැබැයි 235 ගොඩක් එක්ක 238 තිබ්බම දෙනම එකම ගානට වැල් ප්‍රතික්‍රියාවට සපෝට් කරනවා. ආන්න එහෙම 235 වැඩිපුර තියන යුරේනියම් වලට කියන්නේ සුපෝශිත යුරේනියම් කියලා.

හැබැයි සුපෝශිත යුරේනියම් ටිකක් විතර ලොට් එකක් ඕන සාර්ථකව ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න. හිතන තරං ලොට් එකක් ඕන නෑ අවම 50kg ක් තිබ්බම ඇති. මේකට කියන්නේ අවධි ස්කන්ධය කියලා

මෙහෙම 50ක් කවදාවත් ගොඩගහලා තියන්නේ නෑ. මොකද නිකන්ම පුපුරලා යනවා. ඒනිසා බෝම්බේ ඇතුලේ යුරේනියම් කොටස් 20kgක වගේ කෑලි විදිහට වෙන වෙනම තියෙන්නේ. මේ කෑලි වලට පිටින් TNT දාපු තව බෝම්බයක් තියනවා. ඇත්තටම වෙන්නේ මුලින් අර සාමාන්‍ය බෝම්බේ පුපුරා ඇතුලේ තියන යුරේනියම් කෑලිටික නිකන්ම එකට සෙට් වෙන එක. ඊට පස්සෙ ඉතින් "ටෝල්".

සුපෝශිත යුරේනියම් හදන එක ටිකාක් අමාරුයි. ඒනිසා සාමාන්‍ය යුරේනියම් 238උඩට නියුට්‍රෝන විසිකරලා ප්ලුටෝනියම් 239 හදන්න පුලුවන්. මේ යකා කලින් යකාටත් වඩා කලුයි. මුගේ සුපෝශිත කතා මුකුත් නෑ. අවධි ස්කන්ධයත් අඩුයි. දැම්ම ගමන් "ටෝල්".

ඉතින් නාගසාකි වලට ප්ලූටෝනියම් බෝම්බෙ වන Fat Man හා හිරෝෂිමා වලට යුරේනියම් බෝම්බෙ වන Little Man දැම්මා.

මේවා දාන්න කලින් ඇමරිකාව ඇත්තටම කිව්වා ජපානෙට ව්‍යංගාර්තයෙන් බෝම්බ කතාව.

"දරුණු වැසි බලාපොරොත්තු වන්න. මින් පෙර පොලොව මත කිසිදා දැක නොමැති ලෙසින්"

මේ බෝම්බ දෙකෙන්ම 250,000කට වඩා ක්ශනිකව මැරුන.

අදටත් මේ නගර දෙකේ සමහර වීදි වලබිම අමුතු දැලි වගේ දේවල් වලින්හැදුනු අදුරු මිනිස් සෙවනැලි තියෙනවා. මේ තමා බෝම්බයේ තාපයෙන් වාශ්ප උනු අයගේ සෙවනැල්ල!

මුලින් හිරෝෂිමාවට බෝම්බෙ දාලා යටත් වෙයන් කිව්වම ජපානෙ හිතුවා ඇමරිකාවට එක බෝම්බයක් විතරයි තියෙන්නේ කියන්නේ. දෙවනි එක නාගසාකි වලට ඇතෑරියට පස්සේ තමා ජපානය කොන්දේසි රහිතව යටත් උනේ!

පරමාණු බෝම්බයක් පුපුරනකොට මුලින් එන්නේ අධික ආලෝකයක්. ඒ ආලෝකය කෙනෙක්ට දකින්න පුලුවන් එකපාරයි. ඒකත් මිලිතප්පර කීපයක් විතරයි. මොකද බෝම්බෙන් බේරුනත් ඇත්තටම හිරු දහසක ආලෝකය ඒකේ තියෙනවා. ක්ශනිකව ඇස් අන්ධ වෙනවා.

ඒත් එක්කම එන්නේ නියුට්‍රෝන හා ගැමා කිරණ ප්‍රහාරය. තම ශරීරයේ තියන පරමාණු විකිරණශීලි වෙලා පසුව පිලිකා හදනවා.

ඊට පස්සේ එන්නේ තාප ප්‍රවාහය. බෝම්බයෙන් අධිකව රත්වෙලා තියන වායු ප්‍රවාහ එන්නේ. මේවට පුලුවන් වානේ කුට්ටි බටර් වගේ උණු කරන්න. ඇසින් දුටු සාක්කි පවා තියෙනවා ජපානෙන්. හැබැයි මේ සාක්කිකරුවෙකුට ජීවත් වෙන්න පුලුවන් උනේ පැය කීපයක් විතරයි.

අනික දැකලා ඇතිනේ බෝම්බේ නිසා ඇතිවන හතු වගේ අමුතු වලාකුළ. ඒකේ මැද තමා බෝම්බය තියෙන්නේ. ප්‍රතික්‍රියාව වෙනකොට යටින් වායුධාරා ඇදලා අරන් උඩට යනවා. ඒකයි අරවගේ වලාකුළක් හැදෙන්නේ.

පෘථිවිය මත මේවෙනකොට පරමාණු බෝම්බ දහස් ගණක් පුපුරවලා තියෙනවා. මේ සියලු බෝම්බ වල උපරිම හානි ප්‍රදේශය වර්ග කිලෝමීටර කිහිපයක් පමණයි. ඒනිසා හිතන්න එපා ලංකාවට එකක් ඇති කියලා.

මේ පරමාණු බෝම්බයක් පුපුරලා යනකොට ඇතිවන උශ්ණත්වය හා පීඩනය සූර්‍යාගේ මද්‍යයේ උශ්ණත්වය පීඩනය වලට ආසන්නයි. මං කලින් කතාවක කියල දුන්න සූර්‍යා ශක්තිය නිපදවන න්‍යෂ්ටික විලයනය ගැන. ඒක සිදුවෙන්න තරම් මේ උශ්ණත්ව පීඩන ප්‍රමාණවත්.

ඉතින් හයිඩ්‍රජන් වල සමස්ථානිකයක් වන ඩියුටීරියම් ටිකක් මැදට දාලා වටේට පරමාණු බෝම්බයක් සෙට් කරලා ඇතෑරියම අධිකම විනාශයක් කරන්න පුලුවන්. ආන් ඒවා තමා හයිඩ්‍රජන් බෝම්බ කියන්නේ!

අනාගතේ යම් දවසක 3වන ලෝක යුද්ධ නිසා අධිකව පරමාණු හා හයිඩ්‍රජන් බෝම්බ පාවිච්චි කරාවි. ඒකෙන් ලෝක ජනගහනය මිලියන කීපයක් දක්වා අඩුවේවි. ඉතිරි වන මිලියන කීපයත් විකිරණ හා ආහාර හිගය නිසා මාසකිහිපයකින් මියයාවි.

මොනදේ උනත් පෘථිවිය හැමදාම එකම විදිහට තියේවි................

Comments

Popular posts from this blog

හයිඩ්‍රජන් බෝම්බය

ඇයි යට උනේ?.......

Firefox