උතුරු එළිය හෙවත් Firefox......

පෘථිවියේ උතුරු හා දකුණු ධ්‍රැවාසන්න ප්‍රදේශයක රැයක් ගතකලොත් රෑ අහසේ තියන දැඩි අදුර අතරින් ලංකාවේ අහසේ දකින්න බැරි තරුරටා ගානක් දිලිසෙනවා බලන්න පුලුවන්. මේ තරු අතරින් එකපාරම කොලපාට එලියක් ඇඹරෙමින් අහස ආලෝකමත් කරමින් ඇදෙන්න ගනීවී. සෙමින් ඇඹරෙන මේ එලිය තමා අවුරෝරා කියන්නේ. පෘථිවිය මත දකින්න පුලුවන් අලංකාරම සංසිද්ධියක් තමාමේ. දේදුන්න පවා අවුරෝරාවට දෙවැනි වෙනවා.

ඇයි මෙහෙම ලංකාර ආලෝක ධාරා උතුරු දකුණු අහස් වල ඇඹරෙන්නේ?
මොකක්ද මේකට හේතුව?

විද්‍යාවේ දියුණුවට කලින් ග්‍රීන්ලන්ත වැසියන් මේකට හේතුවක් හදාගෙන තිබ්බා. ඒතමා ඒ ප්‍රදේශයට ආවේණික පුලුන් වගේ වලිගයක් තියන නරියෙක් වලිගෙට ගිනිතියන් වේගෙන් අහසේ එහෙ මෙහෙ යනවා කියන එක. ඉතින් මේ අදහසින් උතුරුවාසීන් මේ එලියට කිව්වා "revontulate" කියලා. මේක කෙලිනම ඉංගිරිසියට පරිවර්තනය කලාම එන්නේ "Firefox" කියන එක!

හැබැයි ඉතින් නැට්ට පත්තු වෙච්ච නරියෙකුට ඔහොම දෙයක් කරන්න බෑනේ. ඇත්තටම මේකට හේතුව මොකක්ද?

හේතුව රැදිලා තියෙනවා තැන් දෙකක.
එකක් තියෙන්නේ කිලෝමීටර 6400ක් යට. අනිත් එක තියෙන්නේ කිලෝමීටර මිලියන 150ක් විතර ඈතින්.

පෘථිවියේ හරයේ තියෙනවා විශාල ඝණයකඩ ගෝලයක්. ඊට පිටතින් තියෙනවා ද්‍රව යකඩ මිශ්‍ර භාහිර හරය. ඊටත් පිටින් තියෙනවා මැන්ටලය කියන කොටස. මේක ටිකක් අර්ධ ද්‍රව තත්වේ තියෙන්නේ. ඊට පිටින් තමා අපි හැමෝම ඉන්න බාහිර කබොල තියෙන්නේ. මේ කබොල යාන්තං කිලෝමීටර 16ක් තියන ඇපල් පොත්තක් වගේ තුනී එකක් කියලා කියන්න පුලුවන් පෘථිවියේ අරය එක්ක බලන කොට.

මේ විදිහට පෘථිවියේ හරය වටා තියන ද්‍රව යකඩ බාහිර හරය පෘථිවිය කැරකෙන නිසා කැරකෙමින් තියෙන්නේ. ඒනිසා ඇතිවන විදුලි ධාරා මේ භාහිර හරය වටා ගමන් කරනවා ද්‍රව යකඩ අඩංගු නිසා.

යකඩ කෑල්ලක් වටේ වයර් එකක් විසි වතාවක් විතර ඔතලා කරන්ට් එක දුන්නම අර යකඩ කෑල්ල කාන්දමක් විදිහට හැසිරෙනවා. මේකට කියන්නේ විද්‍යුත් චුම්බකයක් කියලා.

පෘථිවියේ හරය යකඩ. ඒක වටා දැවැන්ත විදුලි ධාරා යනවා. මොකක්ද වෙන්නේ? පෘථිවියේ හරය දැවැන්ත විද්‍යුත් චුම්බකයක් ලෙස ක්‍රියා කරන්න ගන්නවා.

ඕන් ඔය හේතුව නිසා තමා පෘථිවිය සතුව චුම්බක ක්ශේත්‍රයක් තියෙන්නේ. ඒකනේ මාලිමාවල කටු උතුර පෙන්නන්නේ. (මීට වසර මිලියන ගානකට කලින් පෘථිවියට චුම්බක ධ්‍රැව කිහිපයක් තිබිලා. පසුව තමා ද්වී ඩ්‍රැව චුම්බක ක්ශේත්‍රය හටගන්නේ)

මේ දැවැන්ත චුම්බක ක්ශේත්‍රය පෘථිවියේ ඉදන් කිලෝමීටර දහස් ගානක් ඈතට විහිදෙනවා.

මෙහේ ඉදන් කිලෝමීටර මිලියන 150ක් විතර ඈතින් සූර්‍යා ඉන්නවා. සූර්‍යා තාරකාවක් උනාට සූර්‍යාටත් තියෙනවා වායුගෝලයක්. (සූර්‍ය කොරෝනාව මේකේ කොටසක්. පූර්ණ සූර්‍යග්‍රහණයකදී වටේ පේන ගිනි වලල්ල තමා සූර්‍ය කොරෝනාව)

මේ සූර්‍ය වායුගෝලයේ වැඩිපුරම තියෙන්නේ හීලියම් හා හයිඩ්‍රජන්. මේ වායුගෝලයේ ඉහල කොටසේ තියන වායූන් නිතරම වේගෙන් අවට අවකාශයට මුදාහැරෙනවා. මේ වායූ ධාරා වල වැඩි පුරම තියෙන්නේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, හීලියම් න්‍යෂ්ටි හෙවත් ඇල්ෆා අංශු වගේ ඒවා. මේවා සූර්‍යාගේ ඉදන් කිලෝමීටර මිලියන ගානක් යනකල්ම සුපර්සොනික් එහෙමත් නැත්තං ශබ්දයේ වේගෙටත් වඩා වේගෙන් යනවා. මේවා සෞරග්‍රහ මණ්ඩලයේ කෙලවර දක්වා යනවා. මේ සූර්‍ය සුලග නිසා හීලියෝස්ෆියර් එහෙම නැත්තං සූර්‍ය ගෝලය අපේ සෞරග්‍රහ මණ්ඩලය වටා නිර්මාණය වෙලා විශ්වයේ ඉදන් එන කොස්මික් කිරණ වලින් අපිව ආරක්ෂා කරනවා.

මේ සූර්‍ය සුලගේ තියෙනවා ආරෝපණ සහිත අංශු. ඒවගේම මේවට චුම්බක ගුණ තියෙනවා. ඒනිසා මේවා චුම්බක ක්ශේත්‍ර සහිත ග්‍රහලෝක වලදී ක්ශේත්‍රය ක්‍රියා කරන දිශා 2ට ඇදිලා යනවා.

මේක පෘථිවියේත් වෙනවා. මේ විදිහට චුම්බක ක්ශේත්‍රයෙන් අල්ලගන්න අංශු සිරවෙනවා මුලින්ම පෘථිවිය වටා තියන පටු උලුඳු වඩේ වගේ වලලු 2කට. මෙතමා වෑන් ඇලන් වලලු. පස්සේ ටික ටික මේ අංශු පෘථිවියේ චුම්බක ක්ශේත්‍රයෙන් ඒකේ ධ්‍රැව 2ක දිහාට තල්ලුවෙලා යනවා.

මේ සූර්‍ය සුලගට පුලුවන් පෘථිවියේ වායුගෝලය හින්දවලා දාන්න. ඕසෝන් වියන විනාශ කරන්න. අගහරු වල වෙලා තියෙන්නේ මේක. අගහරුගේ වායුගෝලය ඛාදනය වෙලා.
පෘථිවියේ චුම්බක ක්ශේත්‍රය නැත්තං මෙලහටත් පෘථිවියේ වායුගෝලයේ ඝනත්වය අඩුවෙලා ගිහින්. ජීවය නැතිවෙලා.

ඉතින් මේ විදිහට උතුරු හා දකුණු ධ්‍රැව  දෙසට ඇදිලා එන ආරෝපිත අංශු පෘථිවියේ ඉහලා වායුගෝලයේ ගැටිලා ඔක්සිජන් හා නයිට්‍රජන් වායූ අණු අයණීකරණය වෙනවා.

ලබාගත් ශක්තියට අනුරූපව විවිධ වර්ණ ආලෝකය මේ අණුවලින් පිටවෙනවා. මේ ආලෝක සැනකෙළි පෘථිවිය මත ඉන්න අයට පේනවා. එක එක පාට ඇඹරෙන ආලෝක ගංගාවක්.

ඒ තමා උතුරු එලිය......

(මේවා පෘථිවියේ විතරක් නෙවේ බ්‍රහස්පති සෙනසුරු යුරේනස් නෙප්චූන් වගේ ග්‍රහලෝක වලත් වෙනවා.)

Comments

Popular posts from this blog

The Android (Software Part 3)

Android vs IOS/Iphone

ඇයි යට උනේ?.......