සහෝදරියන් තිදෙනෙක්.......

ඔන්න මීට කාලෙකට කලින් විශ්වයේ එක මණ්දාකිණියක අලුත් තරුවක් ඉපදුනා. අලුත් තරුව බිහිවෙලා ඉතුරු කොටස් වලින් ග්‍රහලෝක කීපයක් උපත ලැබුවා. ඒ ග්‍රහලෝක වලින් 4ක් හැර අනික්වා සියල්ල දැවැන්ත ජියෝවියානු ග්‍රහලෝක. අර ග්‍රහලෝක 4 විතරක් පාශානමය ග්‍රහලෝක.

මේ හතර දෙනාගෙන් කුඩාම කෙනා තරුවට ලගින්ම හිටියත් අනිත් තුන් දෙනා හිටියේ ජීවයට හිතකර කලාපයේ.

ඒ තුන්දෙනාගෙන් දෙන්නෙක් එකම ප්‍රමාණයේ. අනික් කෙනා ඊට ටිකක් පොඩියි.

ඒ තුන්වෙනියා පොඩි නිසා අනික් සහෝදරියන් දෙන්නට වඩා ඉක්මනින් පෘෂ්ඨය සිසිල් වෙලා වායුගෝලය නිර්මාණය උනා. සෞම්‍ය උෂ්ණත්වය යටතේ වර්ෂාව, සුලිකුණාටු යටතේ භූමිය හැඩගැන්වෙන්න පටන් ගත්තා. ඉක්මනින් සාගර පිරුණා. විල්, ගංඟා, දියඇලි බිහිඋනා. මේ වෙද්දී මෙයාගේ සහෝදරියන් දෙන්නාගෙ මතුපිට තවමත් අධිඋශ්ණත්වයේ. මොකද එයාලා ගොඩක් ලොකුයි පුංචි සහෝදරියට වඩා.

කාලයත් එක්ක අනිත් දෙන්නත් සිසිල් වෙලා සාගර ඇතිඋනා.

දැවැන්ත සුළි කුණාටු මේ තිදෙනාව හැඩගන්වන්න පටන් ගත්තා.

මේ තමා සිකුරු, පෘථිවිය හා අගහරුගේ ලමාවිය. එකහා සමානව ජලය සහිත සාගර වලින් සමන්විත වෙච්ච ග්‍රහලෝක 3ක්.

නමුත් වර්තමානයේදී සිකුරුගේ මතුපිට ඊයම් උණුකරන්න තරම් රස්නෙයි. ජලය ද්‍රව ලෙස තබාගන්න බැරිවෙනකන් අගහරුගේ වායුගෝලය තුනීවෙලා ගිහිල්ලා. මොකක්ද උන වැරැද්ද?

ඇයි පෘථිවිය ජීවත් වෙලා අනිත් දෙන්නා මියගියේ?

ඒදෙන්නා මියගියේ එකිනෙකට වෙනස් හේතු 2ක් නිසා.

මුලින් බලමු ඇයි අගහරු මියගියේ කියලා.

අදටත් අගහරුගේ ජලය පෘශ්ටයට යටින් අයිස් ලෙස තියන බවට සාක්ෂි තියෙනව. උල්කා කඩාවැටීමකින් පසුව ඒ ආවාටය සුදුපැහැ යමකින් වැසීයනවා අගහරුගේ වටේ දුවන සැටලයිට් වලින් පේනවා. නමුත් දින කීපෙකින් ඒක නැතිවෙලා යනවා. ඒවගේ සාක්ශි.

නමුත් අගහරුගේ ජලය විශාල ලෙස තිබුණු බවට ඕන තරම් සාක්ෂි තියෙනව. වේලිලා ගියපු ගංගා, මූදු, වෙරලවල් වගේ දේවල් අදටත් අගහරුගේ තියෙනව. මොකක්ද වෙච්ච වැරැද්ද?

හේතුව තමා අගහරු කුඩාවීම. අනික් අයට කලින් සිසිල් වෙන්න අගහරුට පුලුවන් උනේ එයා කුඩාවීම උනාට ඒ සිසිල් වීම ඉක්මනින් අගහරුගේ හරයත් සිසිල් කලා. වර්තමානයේදී අගහරුගේ කිසිදු යමහලක් සක්‍රීයව නෑ. අගහරුගේ හරය ඝන තත්වයේ තියෙන්නේ. නමුත් හරය ඝන වීම නොවීම කොහොමද අගහරුගේ මියයාමට සම්බන්ධ?

පෘථිවියේ හරයේ තියෙනවා විශාල ඝණයකඩ ගෝලයක්. ඊට පිටතින් තියෙනවා ද්‍රව යකඩ මිශ්‍ර භාහිර හරය. ඊටත් පිටින් තියෙනවා මැන්ටලය කියන කොටස. මේක ටිකක් අර්ධ ද්‍රව තත්වේ තියෙන්නේ. ඊට පිටින් තමා අපි හැමෝම ඉන්න බාහිර කබොල තියෙන්නේ. මේ කබොල යාන්තං කිලෝමීටර 16ක් තියන ඇපල් පොත්තක් වගේ තුනී එකක් කියලා කියන්න පුලුවන් පෘථිවියේ අරය එක්ක බලන කොට.

මේ විදිහට පෘථිවියේ හරය වටා තියන ද්‍රව යකඩ බාහිර හරය පෘථිවිය කැරකෙන නිසා කැරකෙමින් තියෙන්නේ. ඒනිසා ඇතිවන විදුලි ධාරා මේ භාහිර හරය වටා ගමන් කරනවා ද්‍රව යකඩ අඩංගු නිසා.

යකඩ කෑල්ලක් වටේ වයර් එකක් විසි වතාවක් විතර ඔතලා කරන්ට් එක දුන්නම අර යකඩ කෑල්ල කාන්දමක් විදිහට හැසිරෙනවා. මේකට කියන්නේ විද්‍යුත් චුම්බකයක් කියලා.

පෘථිවියේ හරය යකඩ. ඒක වටා දැවැන්ත විදුලි ධාරා යනවා. මොකක්ද වෙන්නේ? පෘථිවියේ හරය දැවැන්ත විද්‍යුත් චුම්බකයක් ලෙස ක්‍රියා කරන්න ගන්නවා.

ඕන් ඔය හේතුව නිසා තමා පෘථිවිය සතුව චුම්බක ක්ශේත්‍රයක් තියෙන්නේ. ඒකනේ මාලිමාවල කටු උතුර පෙන්නන්නේ. (මීට වසර මිලියන ගානකට කලින් පෘථිවියට චුම්බක ධ්‍රැව කිහිපයක් තිබිලා. පසුව තමා ද්වී ඩ්‍රැව චුම්බක ක්ශේත්‍රය හටගන්නේ)

මේ දැවැන්ත චුම්බක ක්ශේත්‍රය පෘථිවියේ ඉදන් කිලෝමීටර දහස් ගානක් ඈතට විහිදෙනවා.

මෙහේ ඉදන් කිලෝමීටර මිලියන 150ක් විතර ඈතින් සූර්‍යා ඉන්නවා. සූර්‍යා තාරකාවක් උනාට සූර්‍යාටත් තියෙනවා වායුගෝලයක්. (සූර්‍ය කොරෝනාව මේකේ කොටසක්. පූර්ණ සූර්‍යග්‍රහණයකදී වටේ පේන ගිනි වලල්ල තමා සූර්‍ය කොරෝනාව)

මේ සූර්‍ය වායුගෝලයේ වැඩිපුරම තියෙන්නේ හීලියම් හා හයිඩ්‍රජන්. මේ වායුගෝලයේ ඉහල කොටසේ තියන වායූන් නිතරම වේගෙන් අවට අවකාශයට මුදාහැරෙනවා. මේ වායූ ධාරා වල වැඩි පුරම තියෙන්නේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, හීලියම් න්‍යෂ්ටි හෙවත් ඇල්ෆා අංශු වගේ ඒවා. මේවා සූර්‍යාගේ ඉදන් කිලෝමීටර මිලියන ගානක් යනකල්ම සුපර්සොනික් එහෙමත් නැත්තං ශබ්දයේ වේගෙටත් වඩා වේගෙන් යනවා. මේවා සෞරග්‍රහ මණ්ඩලයේ කෙලවර දක්වා යනවා. මේ සූර්‍ය සුලග නිසා හීලියෝස්ෆියර් එහෙම නැත්තං සූර්‍ය ගෝලය අපේ සෞරග්‍රහ මණ්ඩලය වටා නිර්මාණය වෙලා විශ්වයේ ඉදන් එන කොස්මික් කිරණ වලින් අපිව ආරක්ෂා කරනවා.

මේ සූර්‍ය සුලගේ තියෙනවා ආරෝපණ සහිත අංශු. ඒවගේම මේවට චුම්බක ගුණ තියෙනවා. ඒනිසා මේවා චුම්බක ක්ශේත්‍ර සහිත ග්‍රහලෝක වලදී ක්ශේත්‍රයෙන් ඉවතට ඇදිලා යනවා. එතනින් ඉතුවෙන අංශු ස්වල්පයක්  ක්ශේත්‍රය ක්‍රියා කරන දිශා 2ට ඇදිලා යනවා. එහෙම ඇදිල ගිහින් ඒ ග්‍රහලෝක වලදි අවුරෝරා නිර්මාණය වෙනවා.

අගහරුගේ චුම්බක ක්ශේත්‍රයක් නැහැ දැන්. ඒනිසා මේ සූර්‍ය සුලගෙන් ආරක්ෂා වෙන්න අගහරුට බැහැ. ඒනිසා සූර්‍ය සුලගේ ගැටිලා අගහරුගේ වායුගෝලයේ වායු අණු අභ්‍යාවකාශයට විසිවෙලා යනවා. වසර මිලියන කීපයකින් අගහරුගේ වායුගෝලය ක්ශය වෙලා ගිහිල්ලා. වායුගෝලයේ ඝණත්වය අඩුවෙලා ගියාම ජලය ද්‍රවයක් ලෙසා තියගන්න බැරිවෙනවා. වරක් අගහරු වසාගෙන සිටි සාගර වාශ්පවෙලා යනවා. ඒ විදිහටයි අගහරු මියයන්නේ...

නමුත් සිකුරුගේ කතාව මීට ගොඩාක් වෙනස්. සිකුරුගේ චුම්බක ක්ශේත්‍රය පෘතුවියේ තරම්ම ප්‍රභලයි. අදටත් සිකුරුගේ යමහල් ඉතා හොදින් ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම කිව්වොත් ඕනවටත් වඩා හොදට ක්‍රියාත්මක වෙනවා.

සිකුරුගේ සාගර කියන්නේ සම්පූර්ණයෙන්ම වගේ පරිඝණක සිමියුලේශන් වලින් පෙන්න්වන දෙයක්. ඒහැර අනිත් සාක්ෂි බොහෝමයක් වක්‍රාකාරයෙන් ලැබන දේවල්. නමුත් සිකුරුගේ මුල් කාලේ සාගර තිබ්බ බවට සාධාරණ සැකයක් තියෙනව. කෙසේ වෙතත් සිකුරුගේ මතුපිටට යානයක් යවන එකත් අමාරුයි අධික උශ්ණත්වය හා පීඩනය නිසා.

සිකුරුගේ සාගර තිබ්බා නම් සූර්‍ය පාරජම්බුල  විකිරණ නිසා ඒ සාගරවල ජල අණු බිද්වැටෙන්න ඇති. ඕසෝන් ලේයරයකින් සියලු පාරජම්බුල කිරණ නවත්තන්න අමාරුයි සිකුරු සූර්යාට කිට්ටු නිසා.

සිකුරුගේ යමහල් හා වෙනත් යම් බලපෑමක් නිසා වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වායුව පිරෙන්න පටන්ගෙන තියෙනව. කාබන්ඩයොක්සයිඩ් කියන්නේ තියන දරුණුම හරිතාගාර වායුවක්. වසර මිලියන කීපෙකින් සිකුරුගේ වායුගෝලය කාබන්ඩයොක්සයිඩ් වලින් පිරිලායන්න ඇති.

මෙහෙම අවස්ථා වලදි කාබන්ඩයොක්සයිඩ් සුපර් ක්‍රිටිකල් වෙනවා. කාබන්ඩයොක්සයිඩ් හා සල්ෆියුරික් ඇසිඩ් වලාකුළු නිසා වර්තමාන සිකුරුගේ මතුපිටට ඒයාට ලැබන සූර්යා තාපයෙන් 10%කට විතරයි ලගාවෙන්න පුළුවන්. නමුත් ඒ 10%ට ආපහු යන්න බෑ. ඒනිසා සිකුරු අධික උශ්ණත්වයකට ලක්වෙනව.

පෘතුවිය හා සිකුරු ආරම්භ උනේ බොහෝවිට සමාන කාබන් ප්‍රමාණ වලින්. නමුත් ග්‍රහලෝක දෙක ගියේ පාරවල් දෙකක. එකක් තමංගේ කාබන් ටික කාබන්ඩයොක්සයිඩ් ලෙස වායුගෝලයේ තියාගත්තා. අනික කාබන් ජීවය බවට හැරෙව්වා.

නමුත් කණගාටුවට කරුණ තමා පෘථිවියත් සිකුරුගේ අඩිපාරෙම යන්න පටන් ගැනීම. ඒකට හේතුව අපි. අපි වායුගෝලයට වසරකට කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන 30ක් පොම්ප කරනවා.

අවසානයේ පෘථිවියත් මිය‍යාවි...............

Comments

Post a Comment

Popular posts from this blog

ඇයි යට උනේ?.......

The Android (Software Part 3)

හයිඩ්‍රජන් බෝම්බය